
නොරචෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී පුද්ගලික ලංසු කරුවෙකු විසින් ලබා දී තිබූ මිලට වඩා වැඩි මිලකට ලංකා නැව් සමාගමෙන් ගල් අගුරු මිළදී ගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබද කාර්ක සභාව විසින් අනාවරණය කරගෙන තිබෙන බව අනාවරණය වේ.
නොරචෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරයේ ජනන කටයුතු සදහා යොදා ගන්නා ගල් අඟුරු මෙරටට
ගෙන්වීමේදී ක්‍රමවේදයන් දෙකක් සීමාසහිත ගල් අගුරු ලංකා (පුද්ගලික) සමාගම විසින් ක්‍රියාත්මක කර ඇත. දිගු කාලීන ලංසු මත ටෙන්ඩර් නිකුත් කිරීම සදහා ක්ෂණික මිගදී ගැනීම් සදහා ටෙන්ඩර් නිකුත් කිරීම මෙම ක්‍රමවේදයන් වේ.
ඒ අනුව ගල් අඟුරු මෙට්‍රික් ටොන් 01 ක් ඇමරිකාණු ඩොලර් 148.29 කට Nobel Resources ආයතනයෙන් ලදී ගැනීමට හැකියාව තිබියදී ඊට වඩා වැඩි මිලකට ලංකා නැව් සමාගමෙන් ගල් අගුරු මිලදී ගෙන ඇති බව 2021මාර්තු මස 10 වැනිදා රැස්වූ පොදු ව්‍යාපාර පිළීබද කාරක සභාව විසින් අනාවරණය කර ගෙන ඇත.මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කර ඊට අදාල නිලධාරීන් කව්රුන්ද යන්න හදුනා ගෙන ඒ සම්බන්ධයෙන් වන විගනන නිරීක්ෂණ වාර්තාවක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙසද පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව බලශක්ති අමාතයාංශයේ ලේකම්වරයාට සහ ලංකා ගල් අගුරු (පුද්ගලික) සමාගමේ සභාපතිවරයාට නියෝග කර තිබේන බවයි වාර්තාවන්නේ.
ලංකා නැව් සමාගම සතුව ඇත්තේ නැව් දෙකක් පමණක් වන බවත්,නැව් කාලසටහන් කළමණාකරනය කිරීමේදී සහ ඉන්ධන මිල ඉහළ/පහල යාම මෙම තත්ත්වයට හේතුව බව ද මේ වන විට අනාවරණය කරගැනීමට හැකිවී තිබේ..
තවද ගල් අගුරු මිළදී ගැනීමේදී ගල් අඟුරු කැටයක ප්‍රමාණය සහ බර සම්බන්ධයෙන් වන Quality Price
Adjustments යන නිර්නායකය ක්ෂණික මිලදී ගැනීම් වලදී ඉවත් කර ඇති බවද කෝප් කමිටුව විසින් අනාවරණය කරගෙන ඇත.එමෙන්ම ගල් අගුරු මිලදී ගැනීමේදී ස්වාධීන තත්ත්ව පරීක්ෂණ ආයතනය විසින් 2016 ජනවාරි මස 30 වැනිදා දක්වා වූ තත්ත්ව පරීක්ෂණ වාර්තා වල ඇතුළත් ව තිබූ Grain Size ඇතුළත් කිරීමද 2016 පෙබරවාරි මස 16 වැනිදායින් අනතුරුව නිකුත් කර ඇති වාර්තා වලින් ඉවත් කර ඇත.එමෙන්ම ගල් අගුරු වල තිබිය යුතු සල්ෆර් (Sulfur) සහ ඈෂ් (Ash) යන නිර්ණායකයන් මිල ගැළපුම් සූත්‍ර වෙනස් කිරීමක් සිදු කර ඇති බවත්,ඒ සම්බන්ධයෙන්ද ලංකා ගල් අගුරු (පුද්ගලික) සමාගම තම අවධානය යොමු කර නොමැති බව කෝප් කමිටුව විසින් හදුනා ගෙන ඇත.
මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරටට විශාල මුල්‍ය අලාභයක් සිදුවී ඇති බවත්,එම ප්‍රමාණය කොතෙක්ද යන්න
විගනනය කර වාර්තාවක් ඉදිපත් කරන ලෙසත් කෝප් කමිටුව විසින් නිර්දේශ කර ඇත.එමෙන්ම නැව් සංස්ථාව
මාර්ගයෙන් මිලදී නොගනෙ තරගකාරී/විවෘත වෙළද පළෙන් ගල් අගුරු මිලදී ගත්තේ නම් මීට වඩා වාසියක් රජයට අත්පත් කර ගැනීමට තිබූ බවද කෝප් කමිටුව හදුනා ගෙන තිබේ.
එමෙන්ම ගල් අඟුරු මිලදී ගැනීමේදී වසර 05 ක සැපයුම් පළපුරුද්දක් තිබිය යුතු බවට ලංසු කැදවීමේදී නිර්ණය කර තිබුණු නමුත් වසර 03 ක පමණ පළපුරුද්දක් ඇති ආයතන වලට ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවද කෝප් කමිටුවේදී හෙලිවී ඇත.එමෙන්ම ලංසු කැදවීමේ අවසන් දිනය වරින් වර වෙනස් කර ඇති බවද කේප් කමිටුව අනාවරණය කරගෙන ඇත. මෙම තත්ත්වය නිසා සැපයුම් ආයතන අතර තරගකාරීත්වයක් ඇති කර ඒ තුළින් රටට ආර්ථික වාසියක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ලංකා ගල් අගුරු (පුද්ගලික) සමාගම විසින් නොසලකා හැර ඇති බවද කෝප් කමිටුව හදුනා ගෙන තිබේ.
2015/2016 වර්ෂ වල ගල් අඟුරු සැපයීම සදහා අවස්ථා 03 කදී ටෙන්ඩර් කැදවීම් සිදු කර ඇත.නමුත් ලංසු
කරුවන් විසින් අභියාචනා ඉදිරිපත් කිරීම හේතුවෙන් ටෙන්ඩර් ප්‍රදානයන් සිදු කර නැත.මෙම තත්ත්වය හේතුවෙන් ක්ෂණික ටෙන්ටර් ක්‍රියාවලියක් කැබිනට් මණ්ඩලය විසින් සිදු කර ඇත.ඒ අනුව නොරචෝලේ බලාගාරයට වාර්ෂික අවශ්‍යතාවය ලෙස ඉල්ලා ඇති ගල් අගුරු මෙට්‍රික් ටොන් 1.064 ප්‍රමණයෙන් මෙට්‍රික් ටොන් 1.247 ක ප්‍රමාණයක් ක්ෂණික ලංසු කැදවීමෙන් ලබා ගෙන ඇත.නියමිත පරිදි කැදවා ඇති දීර්ඝකාලීන ටෙන්ඩර් ප්‍රදානය නොකර ක්ෂණික ලංසු කැදවීම තුළින්ද විශාල ආලාභයක් සිදුවී ඇති බව කේප් කමිටුව හදුනා ගෙන ඇත.නමුත් සිදුවී ඇති අලාභය මෙතෙක් ඝනනය කර නැත.
නොරචෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරය සදහා නැව් මගින් ගෙන එන ගල් අගුරු ගැඹුරු මුහුදේ සිට
බලාගාරය දක්වා ගෙන එනු ලබන්නේ බත්තල් මාර්ගයෙනි.ඒ අනුව 2006 වර්ෂයේදී බත්තල් 03 ක් විදුලි බල
මණ්ඩලය විසින් මිළදී ගෙන ඇත.ඒ එක් බත්තලක් ඩොලර් 1,500,000 බැගින් බත්තල් 03 සදහාම ඩොලර්
4,500,000 මුදලක් වැය කරමිනි.මෙම බත්තල් තුන සදහා ටග් යාත්‍රා 02 ක් ඩොලර් 3,000,000 ක
මුදලකටද,ලයින් බෝට්ටුවක් ඩොලර් 400,000 කටද විදුලි බල මණ්ඩලය විසින් මිළදී ගෙන ඇත.
ගල් අඟුරුගෙන එන නැව් ගැඹුරු මුහුදේ නැංගුරම් ලෑමෙන් අනතුරුව එම නැව් වල තිබෙන ගල් අගුරු ගොඩ බෑම ඉහත සදහන් කර ඇති බත්තල් ආධාර කරගෙන සිදු කර ඇත.ඒ ලංකා නැව් සංස්ථාව විසිනි.නමුත් කෙටි කලකින් මෙම බත්තල් ගල් අගුරු ගොඩ බෑම සදහා නුසුදුසු බව ලංකා නැව් සංස්ථාව විසින් නිර්දේශ කර ඇත.අනතුරුව ගල් අගුරු ගොඩ බෑමේ කටයුත්ත පුද්ගලික අංශයකට පවරා අති අතර,විදුලි බල මණ්ඩලය විසින් මිළදී ගෙන ඇති බත්තල් තුන මේ වන විට ත්‍රීකුණාමළය වරායේ ගාල් කර ඇත.
ඩොලර් 4,500,000 ක මුදලක් වැය කර විදුලි බල මණ්ඩලය විසින් මිළදී ගෙන ඇති බත්තල් නිසි පරිදි නඩත්තු
කිරීමක් සිදු නොකළේ මන්ද?එම බත්තල් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ත්‍රීකුණාමළය වරාය තුළ නාවුක හමුදා බාරයේ ගාල් කර තිබෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේ අවදානය යොමු වී ඇත.
මේ වන විට නොරචෝලේ තාප විදුලි බලාගාරය තුළ ක්‍රියාත්මක වන්නේ ටර්බයින් යන්ත්‍ර 03 කි.එම ටර්බයින් යන්ත්‍ර 03 සවි කරන ලද්දේ අදියර තුනකදීය.මෙම බලාගාරයේ සිව්වැනි අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පසුගිය රජය සමයේ කටයුතු කරන ලදි.නමුත් ප්‍රදේශවාසීන්ගේ සහ පරිසරවේදීන් ගෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධතාවයකි.මෙම හේතුව නිසා නොරචෝලේ ලක් විජය බලාගාරයේ සිව් වැනි අදියර ක්‍රියාත්මක නොකරන බව වත්මන් ජනාධිපතිවරයා කියා සිටියේය.
සිව්වැනි අදියර ආරම්භ නොවූවත් එම අදියරේ මූලික කටයුතු සදහා යැයි පවසා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් මේ වන විට රුපියල් කෝටි 12 ක මුදලක් වැය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.කාර්යලයක් පවත්වා ගෙන යාම,ඉන්ධන,වාහන සහ නීති උපදේශන සේවාවන් සදහා යැයි පවසා එම මුදල් ප්‍රමාණය වැය කර ඇත.මෙම ව්‍යාපෘතිය නීති විරෝධී එකක් බවට මහජන උපයෝගිතා කොමිෂම විසින් හදුනා ගෙන තිබීමද විශේෂිත කරුණකි.එවන් වටපිටාවක් තුළ ඉදිකිරීම් ආරම්භ කිරීමට අනුමැතියක් හෝ නොමැති ව්‍යාපෘතියක් සදහා රුපියල් කෝටි 12 ක මුදලක් වැය කර ඇත්තේ කුමන ආකාරයට යන්න සොයා බැලීම සදහා විදුලි බල මණ්ඩලය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇත.
අනුමත නොවූ ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් කේටි 12 ක මුදලක් වැය කර ඇත්තේද,එම වියදම සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරණු ලබන්නේද විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින්ම බව අපි අමතක නොකළ යුතුව ඇත.
එමෙන්ම 2017,2018,2019 යන වර්ෂ වල වාර්ෂික වාර්තාවන් විදුලි බල මණ්ඩලය විසින් මේ වන තුරු
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවද 2020 නොවැම්බර් 24 වැනි දින රැස්වූ කෝප් කමිටුව අනාවරණය
කරගෙන ඇත.2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු යොදා ඇති බවත්,2018 වාර්ෂික වාර්තාව සකස් කර අවසන් කර තිබෙන බවත්,2019 වර්ෂයේ වාර්තාව අදාල විගනනයන් නිම වීමෙන් අනතුරුව සකස් කරන බවද විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් එහිදී පවසා ඇත.
මේ ගෙවී යන්නේ 2021 වර්ෂයයි.වසර 04 ක වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති විදුලි බල මණ්ඩලයෙන් සාධාරන විගනනයක් හෝ පරීක්ෂණයක් බලාපොරොත්තු විය හැකිද යන්න මෙහිදී මතුවන තවත් සාධාරන ඇති සැකයක් වන්නේය.
සටහන:- ජුඩ් සමන්ත

Leave a comment